ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි.

යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.

උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි.

ගිවිසුම අත්සන් තැබීමට පෙර මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ සංචාරය කළ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඇතුළු පිරිස යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට ද සහභාගී විය.

අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *