‘නීලහරිත මහා සංග්‍රාමය’ කෝල්ට්ස් පිටියේ දී

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 4වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‘නිලහරිත මහා සංග්‍රාමය’ මේ 20 හා 21 දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.

ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලේ නායක ලෙස සසිරි අධිකාරි කටයුතු කරන අතර තනුක දාබරේ ලුම්බිණි විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

මේ තරගයෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලය එක් ජයක් හිමිකරගෙන ඇති අතර පසුගිය වසරේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ලුම්බිණි විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී තරග දොළහකට සහභාගී වී ඇති අතර මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මාතර ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කර තිබේ. කොළඹ ආනන්ද, මහානාම, රාජකීය, අනුරාධපුර මහා විද්‍යාලය, මොරටුව මහා විද්‍යාලය, රාජගිරිය ජනාධිපති, වෙස්ලි, ගාල්ල මහින්ද විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ඇත.

ලුම්බිණි විද්‍යාලයේ නායක තනුක දාබරේ වසර පහක වර්ණලාභියකු වන අතර ඔහු ලකුණු 600ක් රැස්කරමින් හා කඩුලු 50ක් දවා ගනිමින් තුන් ඉරියව් දස්කම් දක්වයි. කවීන් පීරිස් ලකුණු 450ක්ද, විමුක්ති කුලතුංග කඩුලු 60ක්ද බිඳ දමමින් කණ්ඩායමට ශක්තියක් වී සිටිති.

ලුම්බිණි විද්‍යාලයේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තනුක දාබරේ, කනිෂ්ක මධුවන්ත, කවීන් පීරිස්, රුවන් පීරිස්, විමුක්ති කුලතුංග, විනු හේමාල්ගෙන් ලුමිබිණි පිල සමන්විතය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය මෙවර පාසල් තරග වාරය තුළ තරග 13කට සහභාගී වී ඇති අතර මරදාන සහිරා, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කොට තිබේ.

බණ්ඩාරනායක විදුහල් පිල මෙහෙයවන තුන් ඉරියව් ක්‍රීඩක සසිරි අධිකාරි වසර හයක වර්ණලාභී ක්‍රීඩකයකු වන අතර ඔහු අර්ධ ශතක 7ක් සමඟ ලකුණු 710ක් හා කඩුලු 28ක් දවා ගැනීමට සමත්ව තිබේ. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් වන වසර තුනක වර්ණලාභියකු වන උප නායක හචිත තිමාල් ලකුණු 560ක් හා කඩුලු 25ක්, සසිත මදනායක ලකුණු 601ක් හා කඩුලු 18, අරේෂ මධුෂාන් ලකුණු 518ක් කඩුලු 35ක්, හිමත් හන්චන ලකුණු 308ක් කඩුලු 20ක් දවා ගනිමින් බණ්ඩාරනායක විදුහලට ශක්තියක් වී තිබේ. ඔවුන් ලුම්බිණි විදුහලට ප්‍රබල සටනක් දෙමින් කිරුළ දිනා ගැනීමේ සූදානමකින් පසුවන අතර ලුම්බිණි විදුහලේ බල ඇණිය ද තමන්ගේ නීලහරිත මහා සංග්‍රාම ඉතිහාසයේ ජයග්‍රාහී කිරුළ මෙවරත් තමන් සතු කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බැවින් පාසල් දෙක අතර තියුණු තරඟයක් අපේක්ෂා කළ හැකිය.

මෙවර විදුහල් දෙක අතර එළඹෙන මැයි මස 06 වැනිදා එක් දින මහා ක්‍රිකට් තරඟය සිව්වෙනි වතාවට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විදුහල් දෙක අතර පැවැති එක්දින තරග වලින් 2ක් ජය ගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත්ව ඇති අතර එක තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *