39 වැනි උපන් දිනය දා හේරත්ට දුක හිතෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රංගන හේරත්ගේ උපන් දිනය දා බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගය පරාජයවීම කණගාටුවක් දැනුණ දවසක් බව පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකකදී අවසන් තරගයට පැමිණ පරාජයවීම මෙන්ම ඊයේ නිමාවූ තරගයේ ලද පරාජය තම ක්‍රිකට් දිවියේ දුක්බර අවස්ථා බව රංගන හේරත් සිහිපත් කළේය.

හේරත්ගේ 39 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර තරගයෙන් අනතුරුව පී. සරා ඕවල් පිටියේ පැවැති මාධ්‍ය හමුවකට ඔහු සහභාගී විය.

“ තරගාවලිය ආරම්භයේදීම මා පැවැසුවා මේ තරග දෙකම අභියෝගාත්මක බව. බංග්ලාදේශය හා අපේ කණ්ඩායම සම තත්ත්වයේ ඉන්න නිසා දෙපිලටම තරගාවලිය ඉතා තීරණාත්මක වුණා. ගාල්ලේ තරගයේදී අපි ලකුණු පරතරයකින් ඉදිරියෙන් සිටි නිසා වාසියක් ඇති වුණා. නමුත් අවසන් ටෙස්ට් තරගයේදී අපේ අතින් වැරදි කිහිපයක්ම වුණා. අඩුවෙන් වැරදි කළ බංග්ලාදේශය වැඩි වාසි ගෙන තරගය ජයග්‍රහණය කළා“ හේරත් පැවැසීය.

මේ තත්ත්වය අනුව ශ්‍රී ලංකා පිලට ඉදිරි කාලයේදී වැඩි මහන්සියකින් යුතුව පුහුණුවීම් කළ යුතුව ඇතැයි හේරත් පෙන්වා දුන්නේය. “ පන්දුවට පහර දෙද්දී වැරදි සිදු වුණා. පන්දු රැකීමේදී උඩ පන්දු දෙකක් පමණ අත් හැරියා. ෂකීබ් අල් හසන්ගේ උඩ පන්දුව අත්හැරී පසු ඔහු ශතකයක් ලබා ගත්තා. පන්දු රැකීම හා පන්දුවට පහරදීම ඉදිරියේදී හදාගත යුතුයි“

“ අපි ගොඩක් තරග ක්‍රීඩා කර තිබෙනවා. මට මේ තරගය ගැන විශ්වාසයක් තිබුණා දඟ පන්දු යවන්නන් දෙදනකු යොදා ගත් නිසා. නමුත් අවසන් දිනයේ දිවා විවේකයෙන් පසුව අපෙන් තරගය ගිලිහුණා. ඔවුන් ප්‍රහාරාත්මක රටාවකට පැමිණියා“ හේරත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × one =