මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම ලබන (24) දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ,
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.

රටේ මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇතිකර ගනිමින් 2015 වසරේ පැවති අයවැය පරතරය වන 7% ප්‍රමාණය බලාපොරොත්තු වූ 5.6% ට වඩා අඩු ප්‍රමාණයකට 2016 වසරේදී එනම් 5.4% දක්වා අඩුකර ගැනීමට රවී කරුණානායක මහතා මෙම තනතුරට පත්වූ පසු හැකිවූ බවද එම සඟරාව තවදුරටත් ප්‍රකාශ කර සිටී.

2014 වසරේ දී ශ්‍රී ලංකාවේ ජාතික ආදායම රුපියල් බිලියන 1205 වූ අතර, එය 2015 වසරේදී රුපියල් බිලියන 1,461 දක්වා වැඩිකර ගැනීමට හැකිවී ඇත. මෙම කාලසීමාව තුළ බදු ආදායම ද, රුපියල් බිලියන 1,050 සිට රුපියල් බිලියන 1,356 දක්වා ඉහළ මට්ටමකට රැගෙන ඒමට හැකි විය.

බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බවත්, රටේ ඉදිරි සෞභාග්‍යය වෙනුවෙන් එය කළ යුතු කර්තව්‍යයක් බවත් මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට රජය සමත් වූ බවත් සඳහන් කරන ‘ද බෑන්කර්’සඟරාව, රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමඟින් අවධාරණය කරන ලද බව එම සඟරාව සඳහන් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සඟරාව සඳහන් කර සිටී.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සලකා බලා, ද බැන්කර් සගරාව මගින් වාර්ෂිකව සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි. වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා, හොඳම මහ බැංකුව, හොඳ ම බැංකුව, හොඳම ආයෝජන බැංකුව, කලාපීය වශයෙන් හොඳ ම මුදල් අමාත්‍යවරුන් ඇතුළු සම්මාන රැසක් මෙහි දී පිරිනැමේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *