’වෛද්‍ය සිසුන් නර්ථනය හැදෑරීම ඉතා යහපත්’ – අමාත්‍ය එස්.බී.දිසානායක

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්ථන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

එසේ නර්ථන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යට ප්‍රිය කරන, මිනිසුන්ට ආදරය කරන, තමන් ගැන පමනක් නොසිතන වෛද්‍යවරුන් බවට පත්වේ  යැයි අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය දිසානායක මහතා එසේ පැවසුවේ ඊයේ  (27 ) මහනුවර පාතහේවාහැට අධ්‍යාපන කලාපයේ පාසැල් 14 ක සිසු සිසුවියන් 84 දෙනෙක් සඳහා රුපියල් 20 ලක්ෂයක වියදමින් වෙස් නැටුම් කට්ටල හා ශීර්ෂාභරණ බෙදා දීමට තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැති උත්සවයක් අමතමිනි.

උත්සවයේදී අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ වෛද්‍යවරු සෞන්දර්ය ඉගෙන ගත්තා නම් කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ. ඒ මොකද විශ්ව විද්‍යාලයට දශමෙන් දෙකෙන් යන්න බැරිවෙච්ච දරුවෝ ණයක් හරි වෙලා පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එකට ඉරිසියා කරන්නේ නැහැ.

පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න එපා කියනවනම්, ඒවා තහනම් කරන්න කියනවනම්, පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියනවනම්, චැනල් කඩත් එපා. ඇයි ඒක කියන්නේ නැත්තේ. ඒ අය නොමිලේ ඉගෙන ගන්නේ, පාසල්වල, විශ්ව විද්‍යාල වල, නොමිලේ ඉගෙන ගත්තට හැබැයි චැනලිං නොමිලේ නැහැ. එහෙම කරන්න හොඳ නැහැ.

මේ රටේ දරුවෝ තාමත් තුන් ලක්ෂයක් වසරකට උසස්පෙළ ලියනවා. 140000 ක් පමන උසස් පෙල සමත් වෙනවා. 25000 යි විශ්ව විද්‍යාල වලට යන්නේ. තව 20000ක් විතර උසස් අධ්‍යාපනයට පිටරට යනවා. ඉන්දියාවට, පකිස්ථානයට, බංගලිදේශයට, නේපාලයට යන දරුවෝ අවිචි මහා නරකාදිවල ඉගෙන ගන්නේ. මෙහේ පුද්ගලික උපාධිකඩ එපා කියන අයගේ දරුවොත් ඒ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි මම උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඉංජිනේරු උපාධි දෙන පුද්ගලික විශ්වවිද්‍යාල 08 කට අනුමැතිය දුන්නේ. වෛද්‍ය විද්‍යාල 05 කට අනුමැතිය දෙන්නත් මට ඕන වුනා.

කටුබැද්දට යන දරුවන්ගෙන් 99 % ක්ම A 3 ක් අරගෙන යන අය. හැබැයි එතනට යන හැමෝටම  A 3 ගත්ත කියලා තමන් කැමැති උපාධිය හදාරන්න බැහැ. එතන ඉඩ මදි හැමෝටම කැමති උපාධි හදාරන්න. මේ රටේ දරුවෝ ලක්ෂ 4 ½ ක් විතර ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නවා. ඒ හැමෝම සල්ලි තියෙන අයගේ දරුවො ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *