‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නොමැති බවත් ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අග්‍රමාත්‍යවරයා පවසන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය.

මරදාන, සුදුවැල්ල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය අද (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,

සෑම ජාතියක්ම, සෑම ජනකොටසක්ම එක්සත් වී ඒකීය ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතුයි. ඒ සඳහා ආගමික සංහිදියාව පමණක් නොව විවිධ ජන කොටස් අතර තිබෙන ආගමික සංහිදියාව ද වැදගත් වනවා. පළමුව අප කළ යුත්තේ ජාති භේද, ආගම් භේද නොමැතිව ක්‍රියා කිරීමයි. ඒ සඳහා වූ පසුබිම සකස් කිරීමට දේශපාලන විසඳුමක් අවශ්‍ය වනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ හා මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කර තිබෙනවා. ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ක්‍රියා කළ යුතු බව සෑම කෙනෙක්ම පිළිඅරගෙන තිබෙනවා.

ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට බෙදන්නේ නැතුව බලය බෙදන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි. රට බෙදන්නැයි කවුරුත් පවසන්නේ නැහැ. ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි.

පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කිසිවෙකු රට බෙදන්නැයි කියා පවසන්නේ නැහැ.

දේශපාලන වශයෙන් තිබෙන්නා වූ ප්‍රශ්න විසදා ගෙන, ආගමික සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කරනවා නම්, ජාතිවාදී ප්‍රශ්න නැති නම් අපට රටක් වශයෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට යා හැකියි. දේශපාලන පක්‍ෂවල විවිධ අදහස් තිබිය හැකියි. එම අදහස් අවශ්‍යයි. එම අදහස් තමන්ගේ ධර්මය අනුව හා රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි.

නමුත් සමහර දේශපාලන මතධාරීන් පවසන්නේ මේ නිසා සිංහල ජනතාව නැති වෙන බවත්, ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් අහෝසි වන බවත්, මුස්ලිම් ජනතාවට රට තුළ ජීවත් වෙන්නට බැරිබවත්. ඒ ජාතිවාදී අදහස් වලට කිසිම පදනමක් නෑ. මේ ආකාරයෙන් ජාතිවාදය අවුස්සන්නේ දේශපාලන වශයෙන් බංකොළොත් වෙච්ච පිරිසක්. අද මෙවන් අදහස් අපට අවශ්‍ය වන්නේ නැහැ. අප සිතිය යුත්තේ සියලූ දෙනාම එකට එක්වී ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අපේ දේශපාලන ප්‍රශ්න පැත්තකට දමා අපි සියලූ දෙනාම එකට එක්වී පොදු අපේක්‍ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත් කර ගෙන වැඩ කටයුතු කළේ මේ රටේ සියලූ ජනතාව ඒකරාශී කර ගනිමින් එකට ගමනක් යෑමටයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *