රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට  ඊයේ (29) එක්වෙමිනි.

මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබඳ තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශී‍්‍ර ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

ශී‍්‍ර ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටලු සහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශී‍්‍ර ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබඳ මතුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමා වගකියන බව සියලුදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, කී‍්‍රඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අද පෙරවරුවේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

විද්‍යාලයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. කී‍්‍රඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන් ද තිළිණ ප‍්‍රදානය කෙරිණි.

විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්වය ලබා දීම, ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ ස්වයං රැකියා පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මක කෙරිණි.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ද, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *