දඹුල්ලේ සිතුවම් සංරක්ෂණයට විශේෂඥයෙන් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ලේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM)  ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්වාත් උපාධි ආයතනය විසින් දඹුලු චිත්‍ර සංරක්ෂණය සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉතාලියේ (ICCROM)  ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව ස්මිත් මහතා ඒ සඳහා යොමු කොට ඇත.

මේ වන විට දඹුලු චිත්‍ර දුර්වර්ණවීම් වලට ලක්වී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එම චිත්‍ර සංරක්ෂණය කිරීමට ඒ පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මහතාගේ මග පෙන්වීම මත අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි. අප්‍රේල් මස 03 වන දින සිට 09 වන දින  දක්වා කාලය තුළ දේශීය බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් ද සමග වර්නර් ස්මිත් මහතා විසින්  දඹුලු චිත්‍ර සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

සීගිරි සිතුවම් සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ සහය ලබාදීමට මහාචාර්ය වර්නර් ස්මිත් මහතා පසුගිය වසරේද දිවයිනට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *