ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය ඉන්දියා සබඳතාවලට බලපෑමක් නොවන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉන්දියාව සමඟ පවතින සබඳතාවලට බලපෑමක් නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ඉන්දීය මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අග්‍රමාත්‍යවරයා එහිදී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහුඑහිදී පවසා ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව චීන සහ ඉන්දීය රජයන් අවබෝධයෙන් කටයුතු කරන බවත් මෙම සබඳතා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයන් උද්ගත කරනු ලබන්නේ ඇතැම් ඉන්දීය මාධ්‍ය  විසින් පමණක් බවත්ය.

ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ යහපත් ආරක්ෂක හා ආර්ථික සබඳතා පවතින අතර ත්‍රිකුණාමලය වරාය ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහයෝගය ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලමින් සිටින බව අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

හම්බන්තොට වරායේ චීන ආයෝජන සම්බන්ධයෙන් ද මෙහිදී අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් සිදුකර ඇත.

ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ හම්බන්තොට වරායේ ආයෝජන සිදුකිරීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින බවයි. එය ඉන්දියාවට ද විවෘත වන ආරාධනයක් ද යන්න එහිදී මාධ්‍යවේදියා විමසා තිබේ.

ඊට පිළිතුරු දුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ඉන්දීය නෞකාවලට ද හම්බන්තොට වරායට පැමිණීමේ හැකියාව පවතින අතර එහි කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 6 =