විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට  සාම විනිසුරු පදවි

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 100 දෙනෙකුට  සාම විනිසුරු පදවි පිරිනැමීමට  අධිකරණ අමාත්‍යංශය සූදානම් වෙයි.

ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ සේවය අගයමින් තවදුරටත් ප්‍රජා සේවා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මේ කටයුත්ත සිදු කරයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවල තෝරා ගත් නිලධාරීන් ඇතුළු 100 දෙනෙකු සදහා සාම විනිසුරු පදවි පිරිනැමීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පස්වරු 12.30 ට අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

1978 අංක 02 ක දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම සාම විනිසුරු පත්වීම් පිරිනැමෙන අතර මෙම ගෞරවණිය තනතුර හුදෙක් සමාජ සේවා සදහා පමණක් ලබා දෙන බැවින් මෙම පදවිය උපයෝගි කර ගෙන මහජනතාවගේ දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරිම ජනතාවගේ නීතිමය ලිය කියවිලි සහතික කිරිම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සදහා අදාළ අංශවලට සහාය දීම ,සමාජ විෂමතා වැළැක්වීම සදහා සහාය දැක්වීම ආදී කටයුතු සදහා සාම විනිසුරුවරුන්ට සමාජ වගකීමක් පැවරී ඇති අතර මෙම සියලු සේවා ගරු කටයුතු සේවාවක් ලෙස සළකා ගාස්තු අය කිරීමකින් තොරව සේවය ලබා දිය යුතුය.

පසුගිය කාල පරිච්ඡේදයේදි සමාජ සේවා කටයුතුවලදී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සදහා දිවයිනේ සෑම ප්‍රෙද්ශයක්ම ආවරණය වන පරිදි සාම විනිසුරු පදවි ලබාදි ඇති අතර මෙම තනතුරුලාභින්ගෙන් ජනතාව අපේක්ෂා කරන සමාජ සේවාව පුළුල්ව ඉටු කර ගත හැකි වන පරිදි නීතිය හා අධිකරණ කාර්යයන් පිළිබදව සාමය ආරක්ෂා කිරිම පිළිබදව, සමාජ විෂමතා පාලනය කිරිම පිළිබදව විශේෂ දැනුමක් සාම විනිසුරුවරුන්ට ඉදිරියේදි ලබාදීමට අවධානය යොමුව ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *