පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් 30% කට වෛරස් උණ

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 30 කට වැඩි පිරිසක් ඉන්ෆුලුවන්සා H 1-N 1 වෛරසයට ගොදුරු වී ඇති බවට මතු වූ සැකයක් මත එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ සිසුන් 4000ක් පමණ පිරිසක් අදාළ වෛරසයට ගොදුරුව තිබෙන බවට අනුමාන කෙරෙන අතර සිසුන් රැසක් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මහනුවර මහ රෝහලේ අදාළ රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් විවෘත කර තිබෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

පීඨාධිපතිවරුන් ගෙන් සමන්විත උපදේශක කමිටුවේ නිර්දේශ මත උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා විසින් අදාළ තීරණය ගෙන ඇත.

විශ්ව විද්‍යාලයේ සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙන අතර සියලුම සිසුන්ට අද (04) දහවල් 12.00 ට පෙර නේවාසිකාර වලින් පිටවන ලෙස පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 09 දින නිවාඩු ලබාදීමට නියමිතව තිබූ බවත් පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට පෙර නිවා‍ඩු ලබාදුන් බවත් උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

යළි අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය පසුව දැනුම් දෙන බවත් එතෙක් විශ්ව විද්‍යාලය වසා තැබෙන බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *