විහාරස්ථානවලට පූජා ඔප්පු ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ත්‍රික්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජයේ ඉඩම්වල පිිහිටා ඇති විහාරස්ථානවල අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත විහාරස්ථානවල නිරවුල් අයිතිය ලබාදෙමින් රජයේ ඉඩම් ආඥාපනත යටතේ සකස් කරන ලද පූජා ඔප්පු මේ අනුව සඟ සතු කොට පූජා කිරීම සිදු විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබුණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. චන්ද්‍රා හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *