H1N1 නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් පනවා නැහැ –  සෞඛ්‍ය අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – H1N1 වෛරසය පවතින කිසිම රටකට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා කිසිදු සංචාරක හෝ වෙළඳ තහනමක් පනවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

අමාත්‍යාංශ ලේකම් අනුර විජේවික්‍රම අදාළ පැහැදිලි කිරීම නිකුත් කළේ ඉන්ෆ්ලූවෙන්සා H1N1 වෛරසය පැතිර යන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් විදේශ අමාත්‍යාංශය එරට සංචාරකයන් සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ ලිපිය යොමුකර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇසළ වීරකෝන් වෙතය.

ශ්‍රී ලංකාවේ H1N1 වෛරසයේ පැතිර යාම කාලගුණ වෙනස හේතුවෙන් වර්ධනය වුව ද ඒ පිළිබඳ බියවීමට හේතුවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැහැදිලි කර ඇත.

H1N1 වෛරසය 2009 වසරේ සිට ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල දක්නට ලැබේ.

ඉන්දියාව සහ මාලදිවයින ද මෙලෙස H1N1 වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන රටවලට ඇතුළත්ය.

ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්වලින් දියුණු රටක් බැවින් වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =