පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලුත් සහල් මංගල්‍යය ජනපති සහභාගීත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ලාංකීය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස ත‍්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත‍්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී  ඊයේ(10) පෙරවරුවේ පැවැත්විණි.

ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනය කර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ තම කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග‍්‍ර කොටස පූජා කරනු ලැබීය.

බුද්ධ භෝගයක් ලෙස සළකන වී වගාවෙන් නෙලාගන්නා අස්වැන්නේ මුල් කොටස අපේ ගොවිජනතාව දෙවියන් බුදුන් වෙනුවෙන් වෙන්කරනු ලැබීම ඓතිහාසිකව පැවත එන පූජාවක් ලෙසින් ප‍්‍රකටය.

ජනාධිපතිතුමා මෙහිදී අලුත් සහල් මංගල්‍යයට එක්වූ ගොවි ජනතාව සමග සුහද කථා බහක නිරත වූ අතර එහිදී ශ‍්‍රවණාබාධිත දැරියක් කළ ඉල්ලීම පරිදි ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සියලු පහසුකම් සලසා දීමට කටයුතු කරන බව පැවසීය.

සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩාර රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍රය අසළට පැමිණි ජනාධිපතිතුමා විවේකීව ටික වේලාවක් එහි රැඳී සිටී අතර එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන ජනතාව සමග සුහද කථා බහක ද නිරත විය.මහතා ද එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *