1929ට අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය යනු, ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම්ම යාන්ත්‍රනයයි. එය දවසේ 24 පැය පුරාවට ත්‍රෛයි භාෂාවන්ගෙන් නොමිලේ ක්‍රියාත්මක වේ. 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයට 2016 වර්ෂයේදී පැමිණිලි 9361ක් වාර්ථා වී තිබුණි. ඉන් පැමිණීලි 2180ක් ළමයින් කෘරත්වයට පත්කිරීමට අදාළව වාර්තා වී තිබූ අතර පැමිණිලි 1457ක් අනිවාර්ය අධ්‍යාපනය ලබානොදීමට එරෙහිව වාර්තා වී තිබුණි. ලිංගික අතවර කිරීමේ සිදුවීම් 713ක් හා බරපතල ලිංගික අපයෝජන 196ක්ද වාර්තාවී තිබුණි. දූෂණ සිදුවීම් 347ක්ද වාර්තා වී තිබුණි.

ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කඩිනමින් ක්‍රියාත්මක වන අතර විමර්ෂණ වලදී හෙළි වන්නේ ඇතැම් පැමිණිලි අසත්‍ය ඒවා බවයි. ඒ අතර නිර්ණාමිකව ඉදිරිපත් කරන පැමිණිලි විශේෂ වේ. නාමිකව ඉදිරිපත් කරන ඇතැම් පැමිණිලි ද අසත්‍ය බවට සනාථ වී ඇත. ළමා ආරක්ෂක නිලධාරියෙකු සම්බන්ධයෙන්ද පසුගිය වර්ෂයේ ලිංගික ඇවිටිලි කිරීමකට අදාළව නිර්ණාමික පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර එම පැමිණිල්ලේ නම සඳහන්ව තිබූ සිසුවා සඳහන් කර තිබූනේ අදාළ නිලධාරියගෙන් තමාට කිසිදු ඇවිටිලි කිරීමක් සිදු නොවුනු බවයි. 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පෞද්ගලික හේතූන් මත අසත්‍ය පැමිණිලි සිදු කිරීම හරහා සිදු වන්නේ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ගේ කාලය හා ශ්‍රමය අපතේ හැරීමකි. එමෙන්ම රාජ්‍ය මුදල් විශාල වශයෙන් අනවශ්‍ය ලෙස වියදම් වීමද සිදු වේ. එම නිසා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

විශේෂයෙන් කායික, මානසික, ලිංගික හා නොසලකා හැරීම ආදී වශයෙන් සිදුවන සත්‍ය ළමා අපයෝජන සිදුවීම් පිළිබඳ පමණක් 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *