මීතොටමුල්ල කසල කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරේ.මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙකි.

එසේම අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වේ. තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම තක්සේරු කිරීම් සිදු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සියලූ තක්සේරු කිරීම් දින පහක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

සිද්ධියෙන් අවතැන් වූවෝ කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ ලැගුම්ගෙන සිටිති. මෙම ප්‍රදේශයේ දශක කීපයක සිට පදිංචිව සිටි වැසියන් මෙන්ම මෑත කාලයේදී පදිංචිව සිටි ජනතාවගේ නිවාස එසේ විනාශයට පත්ව ඇති අතර ඛේදවාචකය සිදුවූ අවුරුදු දා (14) නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ නිවාසවල ගෘහමූලිකයන් ඇතුළු සියලුම දෙනා නිවාස තුළ රැඳී සිට ඇති බවත් වාර්තා විය.

14 වැනි සිකුරාදා සවස 3.00ට පමණ සිදුවූ මෙම කුණුකන්ද නායයෑමේ සිද්ධියෙන් කොලොන්නාව දහම්පුරවත්ත, 23 වත්ත සහ නාගහමුල්ල ප්‍රදේශයේ නිවාස 145ක් පමණ හානියට පත්ව ඇති අතර ඉන් නිවාස 60ක් පමණ සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු සහ නිලධාරිහු කියති.

මේ අතර එම ප්‍රදේශයේ ඇති තවත් නිවාස 130ක් පමණ ඉවත් කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *