ජනපති නියමයෙන් මීතොටමුල්ල පවුල් 98කට අද සිට නිවාස

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදු වූ නිවාස අහිමි පවුල් 98කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අද (20) දින ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මී‍තොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙසට ද ජනාධිපතිතුමා නියෝග කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීමට හා අනවසර පදිංචි කිරීම් තහනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබඳව ද දැඩි අවධානය යොමු කරමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ දක්වා සියලු ආයතන මඟින් ලබාදුන් සහය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *