වරාය අධිකාරිය රු. බිලියන 11 ක ඓතිහාසික ලාභයක් උපයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයට සාපේක‍ෂව 2016 වර්ෂයේ දී සියලූ බදු ගෙවීම් වලින් පසු 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත.

මේ හේතුවෙන් අන් කවර වසරකටත් වඩා වැඩි ප්‍රසාද දීමනා මුදලක් සියලූ සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදීමට හැකියාව ලැබිණි.

2016 වර්ෂයේදී කොළඹ වරායේ හා අනෙකුත් වරායන් හි සියලූ යටිතල පහසුකම් වර්ධනය කෙරිණි. එමෙන්ම, නව කළමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ස්ථාපිත කරනු ලැබූ මූල්‍ය විනය මේ වන විට ඉතාම ප්‍රතිඵලදායක වී ඇත.

පළමු වරට වාර්ෂිකව ක්‍රියාකාරී සැලැස්මක් හා ශූන්‍ය පාදක අයවැය ක්‍රමයක් හඳුන්වාදීම නිසා සෑම කොට්ඨාශයකම වියදම්, මිලදී ගැනීම් පාලනය වී ඇති අතර, ඉතිහාසය පුරා නොවු ආකාරයේ ආයතනික වාර්ෂික සැලසුම් සහගත අයවැයක් එළිදැක්වීමට හැකියාව ලැබී තිබේ.
මේ වන විට ක්‍රියාත්මක කරන ලද නොයෙකුත් ක්‍රමානුකූල සැලසුම් හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලූ මෙහෙයුම්හි අපතේ යන කාලසීමාව අවම කර උපරිම කාර්යක‍ෂමතාවයකින් යුතුව මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව ලැබී ඇත. ඒ හේතුවෙන් නාවික සේවා, බහලූ මෙහෙයුම් සේවා හා නැව් භාණ්ඩ මෙහෙයුම් සේවා සඳහා පැමිණෙන පාරිභෝගිකයින් වෙත ප්‍රශස්ත මට්ටමකින් සේවා ලබාදීමට ආයතනයට හැකියාව ලැබී තිබේ. ඒ පිළිබඳ වරාය ගණුදෙනුකරුවන් සිය ප්‍රසාදය ආයතනය වෙත පලකරයි.

ශ්‍රී ලංකාවේ කුමන හෝ ගුදම් කළමනාකරණ පද්ධතියකට වඩා වැඩි කාර්්‍යක‍ෂමතාවයකින් යුතු භාණ්ඩ නිදහස් කර ගැනීමේ සේවාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දීමට ද බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අළුත් අවුරුදු උදාවත් සමග වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළේ මෙතෙක් කාලයක් පුරා වෘත්තීය සමිති මාෆියාවන්ට යටත්ව තිබු සේවක උසස්වීම්, සේවක ස්ථාන මාරුවීම්, සේවකයින් සඳහා නිවාස ලබාදීම්, පඩි වැඩිකිරීම්, ප්‍රසාද දීමනා හා දිරි දීමනා ලබාදීම් ආදි සියලූ දේ අද ආයතනික නීති රාමුව තුළ පත්කොට ඇති නිලධාරීන්ගෙන් සමන්විත කමිටු මගින් සිදුකරන බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පුද්ගලිකරණය කිරීමට යම් සැලැස්මක් ඇත්නම් අප විසින් කළ යුත්තේ පුද්ගලික අංශයට වඩා හොඳ සේවාවක් ලබා දීමේ ක්‍රමවේදයක් සකසා ගැනීමත් එයින් ඵලදායිතාව වර්ධනය කර ගැනීමත් පමණක් බව ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *