ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

එසේම නුදුරේ දීම ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට යෝජනා වූ බව ද අමාත්‍යවරයා කියා සිටියි. රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අතරතුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලය ඇමතීමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක් වන අතර, එය මෙරට ආයෝජන අවස්ථාව පුළුල් කිරීම සඳහා වන කඩඉම් අවස්ථාවක් බවත් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීය.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට අමාත්‍යවරයා පසුගිය 23වනදා පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට ළගා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *