විරෝධතා මර්දන නායකත්වයට ෆීල්ඩ් මාෂල් ගෙන ඒමේ සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩු විරෝධී අරගල මර්දනය කිරීම සඳහා ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙන නව සංවිධානයක නායකත්වය ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇරයුම් කර තිබේ.

හිටපු යුද හමුදාපතිවරයා යටතේ රටේ ‘විනය ඇති කිරීම’ ජනාධිපතිවරයා ගේ අපේක්ෂාව බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ සඳහා අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යුද හමුදාපති තනතුර හෝ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරක් භාරගන්නා ලෙස අප්‍රේල් 25 අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා, අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීම් කළ බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.
කෙසේ වුවද ,ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා යටතේවිශේෂ බළකායක් ස්ථාපිත කිරී‍මට යෝජිත බවත්, එය වර්ජන සහ උද්ඝෝෂණ මැඩලීමට තනි පුද්ගලයකුට බලය පැවරීමක් නොවන බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය.

රට තුළ දිගින් දිගට ම සිදුවන උද‍්ඝෝෂණ හා වර්ජන රාජපක්ෂ කල්ලි‍ය මෙහෙයවන්නක් බවත්, ලබන අගෝස්තු මාසය පමණ වනවිට එම කල්ලියේ සියලු හොරමැරකම්, දූෂණ වංචා හෙළිදරව් වෙතැයි බියෙන් මෙසේ ජනතාව නොමඟ යවමින් ‍විවිධ උද්ඝෝෂණ පවත්වමින් ජනතාව නොමඟ යවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සෑම දිනකම පාහේ මෙසේ උද්ඝෝෂණ පවත්වමින් ජනජීවිතය අවුල් කිරීමෙන් යහපාලනයට බාධා පැමිණවීම නිසා රටට ආයෝජකයන්, සංචාරකයන් පැමිණීම අඩුවීමෙන් පාඩු අත්වන්නේ රටට හා ජනතාවට ම බවද ‍ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *