ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර

(කොළඹ, ලංකාපුවත්) –තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපැදීමත් ඕනෑම නායකයකුගේ සාර්ථකත්වයට බලපාන සාධක බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ පැවති විශේෂ උපහාර උළෙලකට එක්වෙමිනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය සංවිධානය කළ එම උපහාර උළෙල පැවැත්වුණේ හයිද්‍රාබාද් නුවර රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

1996 වසරේදී ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට අර්ජුන රණතුංග මහතා ලබා දුන් නායකත්වය සහ එතුමා ක්‍රිකට් ක්‍රීඩාවට කළ අතිවිශිෂ්ට සේවය අගයමින් එම උපහාර උළෙල පැවැත්විණ.

එම උපහාර උළෙලට හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. විවේකානන්ද් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියාසිටියේ පෙර සිටි ක්‍රීඩකයින් මුදල නොව රට ගැන සිතා කටයුතු කළ බවයි.

“ඇත්තටම දැන් දේශපාලනඥයෙක් ලෙස ක්‍රිකට් පිටියකට ගොස් ක්‍රිකට් තරගයක් නරඹන්නට මට ලැබෙන අවස්ථාව බොහෝම අඩුයි. නමුත් එදා 1996 වසරේ ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කිරුළ දිනූ කැපවීමක් සහිත 13දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට නායකත්වය දුන් මාව අද සියලුදෙනාම අගයනවා. ඒ වගේම ගෞරව කරනවා. මගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ සියලුදෙනා හැමවිටම මම කියන දේ ක්‍රියාත්මක කළා. ඒ සම්බන්ධයෙන් මා සතුටට පත්වෙනවා. මොකද ක්‍රීඩකයින් තම නායකත්වයට ගරු කරමින් අණ පිළිපැද ක්‍රීඩා කරන විට ඒ නායකත්වය ඉදිරියට ගෙන යා හැකියි. එදා හිටපු ඒ ක්‍රීඩකයින් 13දෙනා මුදල් ගැන නොසිතා කැපවීමෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔවුන් රටට ඉමහත් ගෞරවයක් ගෙන දුන් කණ්ඩායමක්. එවැනි ක්‍රීඩකයින් 13දෙනෙකු ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා……” යැයිද අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *