මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් අතුරින් ශ්‍රී ලංකාව 141වන තැනට

(කොළඹ, ලංකාපුවත්) – අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.

දූෂණය විරුද්ධව ඉදිරිපෙළේ සටන් කරන මාධ්‍යවේදීන් අද ලොව පුරා මර්දනයට ලක්ව ඇති බව එම ආයතනය පවසයි.

පැරිස් නුවර පිහිටි රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් ආයතනය විසින් ප්‍රකාශ කර ඇති නමුත් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර ඇති බවත්, සමීක්ෂණයට ලක්වූ රටවල් 180ක් අතරින් ලංකාව 141 වන ස්ථානයේ පසුවන බවත් එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ ඒ රටවල් වල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය, මාධ්‍ය නිදහස හා බහුවිධතාව වැනි සාධක පදනම් කොට මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සමරනවාත් සමඟම විශේෂිත වූ නීති දෙකක් සම්පාදනය කෙරෙමින් පවතින බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වාදේ.

ප්‍රධාන පාර්ශ්වකරුවන් වන මාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ අදහස් විමසුමකින් තොරව මෙම නීතීන් සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසට බාධකයක් විය හැකි බව එම ආයතනය විසින් සිහිපත් කර තිබේ.

යෝජිත ත්‍රස්ත මර්දන හා මාධ්‍ය නියාමන සාභා පනත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හා සෙසු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන සාකච්ඡාඇති කරන ලෙස ,ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *