රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රණවිරුන්ගේ සුබ සාධනය, ඔවුන් කළ සේවය ඇගයීම, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී සොයා බැලුවේය.

සාලාව, සාමසර කන්ද, මිතොටමුල්ල වැනි සිදුවීම්වල දී මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරතවු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකාය ඇගයීමට ලක්කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්ෂණ අධ්‍යාපන ආයතනය, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්නා ලංකා ආයතනය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැළසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

සාලාව සිදුවීමට අදාළ වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එය ලබන වසරේ විවෘත කිරීමට හැකියාව පවතින බව සඳහන් කෙරිණි.

සාලාව, සාමසර කන්ද, මීතොටමුල්ල සිදුවීම්වල දී මුදා ගැනීමේ මෙහෙයුම්වල සහ සහන කටයුතුවල නිරතවූ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් ඇගයීමට ලක් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර ඔවුන්ගේ සේවය අගයමින් විශේෂ සේවා ඇගයීම් ලිපි පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමට ඒ අනුව යෝජනා කෙරිණි.

ශිෂ්‍ය භට බලකාය සියයට පනහකින් ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශිෂ්‍ය භට බලකාය සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මුල්‍ය ප්‍රතිපාදනය ලබාදීම පිළිබඳ සාකච්ඡාවට බදුන් විය. රණවිරුවන් සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් වූ අතර මේ වන විට ඉඩම් කට්ටි නවදහසකට ආසන්න ප්‍රමාණයක් ඛෙදා දී තිඛෙන අතර අවශ්‍යතාවය මත මහවැලි බල ප්‍රදේශවල ඉඩම් ද ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

රක්නා ලංකා ආයතනය ඈවර කිරීමට රජය මේ වන විට තීරණය කර තිඛෙන අතර එහි සේවය කරන විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා එම ආයතනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙහි දී උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *