රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයනුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටක පොහොසතුන් සිටිය යුතු නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතු බවත් රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයින් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ 2017 දිළිඳුකම පිටු දැකීමේ වර්ෂය- ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත් කිරීම සහ ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති හමුවට සහභාගි වෙමිනි.
මෙය ඊයේ (04) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණ.

එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ‘ග්‍රාමශක්ති’ ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව සොයා බැලීම සඳහා ලබන මාසයේ සිට සෑම දිස්ත්‍රික්කයකටම තමා පැමිණෙන බව ය.
රටක පොහොසතුන් සිටින්න ඕනෙ. නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතුයි කියන මතයේයි මම සිටින්නෙ. රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයන්. ඉදිරියේ දී ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව තවදුරටත් මැති ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කරන බව ද ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

මේ 2017 වර්ෂය දුගී බවින් නිදහස් වීමේ වර්ෂය වශයෙන් නම් කිරීමත් සමඟම ඉදිරි අනාගතය සඳහා කළ යුතු කාර්යයන් රාශියක් ආරම්භ වෙනවා. අපේ රටේ පවතින දුගීභව සහ දුගී බවින් නිදහස් වීම පිළිබඳව, ආර්ථික දරිද්‍රතාවය පිළිබඳව නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගෙවී ගිය දශක කීපය තුළ ක්‍රියාත්මක වූ විවිධ වැඩසටහන්, ජාතික ව්‍යාපාර පිළිබඳව අප සැමට, දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මතකයන් අත්දැකීම් සහ අවබෝධයක් තිබෙනවා. විවිධ සහනාධාර, අඩු ආදායම් පවුල්වලට ලබාදෙන විවිධ පහසුකම් සුබ සාධන කටයුතු ගත්තහම ඒවායේ මුල් කාලෙ හාල් පොත ක්‍රියාත්මක වූ අන්දම මතකයි. 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය බලයට පත්වෙලා එදා සිටි මුදල් ඇමැතිවරයා හාල් පොත සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය මතකයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ජනසවිය පිළිබඳව අප දන්නවා. ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ ක්‍රියාත්මක කළ සමෘද්ධි ව්‍යාපාරය අපට මතකයි. පසුගිය කාලයේ එය ගැමි දිරිය බවට පත් වුණා. මේ වැඩ සටහන්වලට අමතරව දිළිදුකම පිටු දැකීම සඳහා විවිධ අමාත්‍යාංශ ආයතන යටතේ ජාතික වශයෙන් පළාත් වශයෙන් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වූ වැඩ සටහන් රාශියක් තිබුණා. එම අතීත අත්දැකීම් සහ අවබෝධය සමඟ අප ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය මා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ක්ෂේත්‍ර නිලධාරීන් දක්වා සියලු දෙනා මේ වැඩ සටහන සඳහා කැපවීමෙන් ක්‍රියා කරයි කියා මා බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ දීර්ඝ කාලයක් යුද්ධයක් පැවතුනා. එවන් පසුබිමක් යටතේ ආර්ථිකයේ අඩාලකම් ඇති වුණා. දුගී භාවය ඇති වුණා. රටක් වශයෙන් අප දුප්පත්කම තුරන් කිරීම පිළිබඳව ග්‍රාම ශක්ති වැනි ජනතා ව්‍යාපාර මෙන්ම තවත් ව්‍යාපාර අත්‍යාවශ්‍ය වෙනවා. මෙතන එස්. බී. දිසානායක ඇමැතිවරයා ඉන්නවා. එතුමා සමෘද්ධි ව්‍යාපාරය සඳහා නායකත්වය දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනතාව වෙනුවෙන් නිවාස වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කළා. මෙයට විද්වතුන් රාශියක් ද එක්වී සිටිනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය මේ සඳහා ලැබෙනවා. අමුණුගම ඇමැතිවරයා සඳහන් කළා වගේ 2017 වර්ෂයේ මේ ග්‍රාම ශක්ති වැඩ පිළිවෙළට අමතරව බොහෝ අමාත්‍යාංශවලට මුදල් වෙන් කර තිබෙනවා. මේ විෂය ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක වීම සඳහා. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, වාරිමාර්ග, සමාජ සුබ සාධනය සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මේ සියලු ව්‍යාපෘතිවලින් අවසානයේ ප්‍රතිලාභය ගත යුත්තේ මේ රටේ පොදු ජනතාව විශේෂයෙන් දුප්පත් ජනතාව.

අපේ රටේ දුගී භාවය සම්බන්ධයෙන් කතා කරන විට යුද්ධය පැවැති ප්‍රදේශයන්හි ජනතාවගේ දුගී භාවය වැඩියි. කන්ද උඩරට වතුකරයේ ජනතාවගේ දුගී භාවය ද වැඩි බව අපට පෙනෙනවා. පොදුවේ රට වශයෙන් ගත් විට නාගරික සහ ග්‍රාමීය කොටස් දෙකෙහිම සිටින දුගී ජනතාවගේ තත්ත්වය පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා. කාන්තාවන්, දරුවන්, තරුණ පිරිස් දුගී භාවයේ ගැටලුවලින් පීඩා විඳිනවා. මේ සියලු ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් තමයි ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අප ක්‍රියාත්මක කරන්නෙ. මෙය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය සේවකයන්ට විශාල වගකීමක් පැවරෙන බව මා නැවතත් මතක් කරනවා. මේ වගකීම ඉටු කළ යුත්තේ රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන්. එහි දී නිලධාරීන්ගේ අත්දැකීම් මෙන්ම අප ක්‍රියාත්මක කරන වැඩ සටහන පිළිබඳව මනා අවබෝධයක් ලබාගත යුතුයි.

ග්‍රාම ශක්ති මෙහෙයුම් කමිටු පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන්, ප්‍රාදේශීය කොට්ඨාස වශයෙන්, ග්‍රාම නිලධාරි කොට්ඨාස වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙහි දී අවශ්‍ය ඉලක්ක අප සම්පූර්ණ කර ගත යුතුයි. මේ වැඩසටහන අද දින හඳුන්වා දුන්නා වගේම මම බලාපොරොත්තු වනවා ලබන මාසයේ සිට සෑම දිස්ත්‍රික්කයකටම පැමිණෙන්න එසේ පැමිණ මේ වැඩ සටහනේ ආරම්භක අවස්ථාව තිබෙන තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න. එහි දී අදාළ ප්‍රදේශයන්හි දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සමඟ වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. දුප්පත්කම පිටු දැකීමේ වැඩසටහන් අප ක්‍රියාත්මක කිරීමේ දී අවට පිහිටි රටවල් ක්‍රියා කරන ආකාරය පිළිබඳවත් විමසිලිමත් විය යුතුයි. විශාල දියුණුවක් ලබා ඇති රටවල් පිළිබඳව හැදෑරිය හැකියි. තායිලන්තය, මැලේසියාව, ඉන්දුනිසියාව වැනි රටවලට ගිය විට අප දකින දෙයක් තමයි ග්‍රාමීය කර්මාන්ත වල ආදායම් තත්ත්වයන් වැඩිවීම. එම රටවල අපනයනය පිළිබඳව ඇති වී තිබෙන වර්ධනයන් අප දකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 3 =