එ. ජා. ජාත්‍යන්තර බෞද්ධ සන්නිවේදන සමුළුවට සහභාගීවීමට දේශීය බෞද්ධ සන්නිවේදිකයින්ට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සන්නිවේදන සමුළුවට සහභාගී වීමට දේශීය බෞද්ධ සන්නිවේදිකයින්ට අවස්ථාවක් ලබා දී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි. 

 

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙල මැයි මස 12,13,14 යන දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වේ. මෙහි සමාරම්භක දිනය මැයි මස 12වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙහි සමාප්ති උළෙල මැයි මස 14 වන දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවේදී පැවැත්වේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙලේ මෙවර තේමාව වී ඇත්තේ “බෞද්ධ ඉගැන්වීම් මත සමාජ සාධාරණත්වයක් තුළින් ලෝක සාමය උදාකර ගැනීම” යන්නයි.

මෙම තේමාව පදනම් කරගෙන මෙම සමුළුවට සහභාගීවන රටවල් 90ක දහසකට අධික ලෝක බෞද්ධ නියෝජිතයන් පිරිසක් බෞද්ධ දර්ශනයේ හරය ලෝක සාමය උදාකර ගැනීම සඳහා යොදාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව ලෝකයේ සෑම රටකටම සුවිශේෂි බෞද්ධ පණිවිඩයක් මෙම විද්වත් සංවාද වැඩසටහන මඟින් ලබා දීමට නියමිතව ඇති අතර, මෙම ප්‍රධාන තේමාවට අමතරව බෞද්ධ ආර්ථික, සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව විද්වත් සාකච්ඡා මණ්ඩපයක් පැවැත්වෙන අතර, මෙහි තේමාව වී ඇත්තේ බෞද්ධ ආර්ථිකය හා සංස්කෘතික හුවමාරුව තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි.

වර්තමානයේ ලෝකයේ පවතින විවිධ අර්බුද හා යුධ ගැටුම් කළමණාකරණය කිරීමෙහිලා බෞද්ධ සන්නිවේදන මතවාදයෙහි ඇති වැදගත්කම තේමා කරගෙන ලෝක බෞද්ධ සන්නිවේදන විද්වත් සංවාදයක් (Buddhist Communication Forum)මෙහිදී  පැවැත්වේ.

මේ බෞද්ධ සන්නිවේදන සමුළුව සඳහා ලෝකයේ බෞද්ධ රටවල් නියෝජනය කරමින් බෞද්ධ සන්නිවේදකයින්, විද්වතුන්, ජනමාධ්‍යවේදීන්, බෞද්ධ රූපවාහිනි නාලිකා හා ගුවන්විදුලි සන්නිවේදකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් විශාල පිරිසක් සහභාගිවන බැවින් මෙම වැඩමුළුව ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ දෙවන දිනය වන මැයි මස 13 වන දින  පෙ.ව.9.15 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු ශාලාවන් හීදී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

මෙම බෞද්ධ සන්නිවේදන වැඩමුළුව සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වන දේශීය බෞද්ධ සන්නිවේදකයින්, ජනාමාධ්‍යවේදීන් හා බෞද්ධ රූපවාහිනි නාලිකා  , ගුවන් විදුලි නාලිකාවන්වල සන්නිවේදකයින්ට විශේෂ අවස්ථාවක්  ලබාදීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය තීරණය කර ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවැත්වෙන් මෙම වැඩමුළුවට සහභාගීවන බෞද්ධ සන්නිවේදකයින්, ජනමාධ්‍යෙව්දීන් තම නම, ලිපිනය, හැදුන්පත් අංකය ,විද්‍යුත් ලිපිනය, දුරකතන අංකය ඇතුළු විස්තර ජනාමාධ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය ඉල්ලා සිටියී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *