සංචාරක කර්මාන්තයේ ප්‍ර‍වර්ධනයට වරාය අධිකාරියේ දායකත්වය දෙවිනුවරින්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍ර‍වර්ධනය සඳහා වරාය අධිකාරියේ දායකත්වය ලබා දීම දෙවිනුරින් ආරම්භ කිරීමට හැකි වූ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ දෙවිනුවර ප්‍ර‍දීපාගාරය යළිත් මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගි විය. උත්සවය ඊයේ(04) පස්වරුවේ දෙවිනුවර ප්‍ර‍දීපාගාර භුමියේදී පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ රටේ සම්පත් රටට ඵලදායි ලෙස යෙදවීම මහජනතාවගේද යුතුකමක් වන බවයි.

“මම හොරකමට විරුද්ධ වන කෙනෙක්. ආණ්ඩුවේ හිටියත් එහෙමයි. විපක්ෂයේ හිටියත් එහෙමයි. ඒ නිසා කොතැනක හෝ හොරකමක් වනවා නම් ඒක නැවැත්වීම මගේ ප්‍ර‍තිපත්තිය. ඒ නිසා තමයි දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා මීට මාස කිහිපයකට පෙරදී අත්හිටු වීමට සිදු වුණේ. දැන් ඒ සියල්ල නිවැරදි කරගෙන යනවා. මොකද එක එක්කෙනාගේ සාක්කුවලට සල්ලි යන්න ඕන නැහැ. සමහරවිට මේ ප්‍ර‍දීපාගාර වරාය අධිකාරියට අයත් වුණත් අපි ඒවායෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නමුත් මේ ප්‍ර‍දීපාගාරවලින් සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගමේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වීමේ ක්‍ර‍මයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා රට වටේ තියෙන සියලුම ප්‍ර‍දීපාගාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජකයකු මාර්ගයෙන් හෝ මේ ප්‍රදීපාගාර දියුණු කර ගමේ සාමාන්‍ය මිනිසුන්ට ආදායම් මාර්ගයක් ලැබෙන ලෙසට මේ ප්‍ර‍දීපාගාර දියුණු කිරීමට අපේක්ෂා කරනවා. වරාය අධිකාරිය නම් තමන් උපයන මුදල්ම තමයි අපි වියදම් කරන්නේ. නමුත් අපි රටක් හැටියට පාරවල් හැදුවත්, ගොඩනැගිලි හැදුවත්, පාසල් හැදුවත්, රෝහල් හැදුවත්, ඒ සියල්ලම හදන්නේ ඔබෙන් ලබා ගන්න මුදල්වලින්. ඒනිසා තමුන්නාන්සේලාටත් අයිතිවාසිකමක් තියෙනවා මෙවැනි තැන්වල වැරදි දේවල් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න. ඒ අනුව වරාය අධිකාරිය ලෙස මේ රටේ සංචාරක අංශය දියුණු කිරීමට දායකත්වය දෙවිනුවරින් ලබා දෙන්න අද අපිට හැකි වුණා. ඒ ගැනත් මම ඉතාම සන්තෝෂ වෙනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

1887 දී ඉදිකිරීම් ආරම්භ කළ දෙවිනුවර ප්‍ර‍දීපාගාරයේ උස මීටර 49 කි. පසුගිය කාලයේදී මෙම ප්‍ර‍දීපාගාරය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරයකින් විවිධ පීඩාවලට පත් වන බව වාර්තා වූ බැවින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්විණ. පසුව ප්‍ර‍දීපාගාරය නැරඹීම සඳහා ක්‍ර‍මවත් වැඩපිළිවෙලක් සකසන ලෙසටද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා උත්සවය අමතමින් පැවසුවේ ඉදිරියේදී ප්‍ර‍දීපාගාරය නැරඹීමට පැමිණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බවයි. “පළමුවෙන්ම අපි මේ ප්‍ර‍දීපාගාරය නරඹන්නන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගත යුතුයි. ඒනිසා මේ ප්‍ර‍දීපාගාරය නැරඹීමේ අවස්ථාව උදාවුණත් එහි ඉහළට නැගීමේ අවස්ථාව දැනට නවත්වලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී සොයලා බලනවා එයත් කරදරයකින් තොරව කරගෙන යන්න පුළුවන් ද කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් මෙතනින් ඉහළට යන්න ගිහිල්ලා එතනදි යම්කිසි අගතියක් වුනොත් ඒ අවස්ථාවේදී නීතිමය වශයෙන් අපිට මුහුණ දෙන්න තියන කටයුතු මොනවද කියන එක ගැනත් අපි අවධානය යොමු කර තිබෙනවා. අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ මේ රටේ මහ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න…….” යනුවෙන්ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා එහිදී වැඩිදුරත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *