ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ආසියානු රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.

රොෂාන් වීරරත්නගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් 8 දෙනකු ඇතුළත් කිරිමට මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රගර් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඩ් ධර්මපාල සහ තිළිණ විජේසිංහ, සී.ආර්. පිලේ තාරික් සාලේ, හැව්ලොක්ස් කණ්ඩායමේ නිෂොන් පෙරේරා, අෂාන් ඩාලින් සහ උමේෂ් මධුෂාන්, පොලිස් පිලේ ජොයෙල් පෙරේරා, නාවික හමුදා කණ්ඩායමේ රිචී ධර්මපාල පළමු වරට ශ්‍රී ලංකා 15 සාමාජික රගර් කණ්ඩායම නියෝජනය කරති.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ෆාසිල් මරිජා, ධනුෂ්ක රන්ජන්, සයුරි ඇන්තනී, සජිත් සාරංග, සත්‍යා රණතුංග, චානක චන්දිමාල් තරගාවලියට එක්වී සිටිති. ශ්‍රී ලංකා 15 සාමාජික සහ සත් සාමාජික රගර් කණ්ඩායම්වල හිටපු නායකයා වන ෆාසිල් මරිජා ශ්‍රී ලංකා 15 සාමාජික රගර් කණ්ඩායම නියෝජනය කරන අවසන් අවස්ථාව මෙය වේ.

ෆිජී ජාතික ෆෙරෙටි වෙරෙබුලා මහතා ශ්‍රී ලංකා 15 සාමාජික රගර් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රජීව් පෙරේරා සහය පුහුණුකරු ලෙස පත්වී සිටි.

මේ මස 14 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වන ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලියට ශ්‍රී ලංකාව සමග මැලේසියාව, පිලිපීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් තරග වදිති.

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේදී මැලේසියාව බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රි ලංකා 15 සාමාජික රගර් කණ්ඩායම මෙසේය – රොෂාන් වීරරත්න (නායක), ෆාසිල් මරිජා, ධනුෂ්ක රන්ජන්, ලවංග පෙරේරා, රිචඩ් ධර්මපාල, ජේසන් දිසානායක, තිළිණ විජේසිංහ, ගනුක දිසානායක, සයුරි ඇන්තනී (මහනුවර ක්‍රීඩා සමාජය), දුෂ්මන්ත ප්‍රියදර්ශන, ෂැරෝ ප්‍රනාන්දු, ප්‍රසාද් මධුසංඛ, උමේෂ් මධුෂාන්, අෂාන් ඩාලින්, නිෂොන් පෙරේරා, නිරෝෂන් ප්‍රනාන්දු (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය), සජිත් සාරංග, සත්‍යා රණතුංග, චානක චන්දිමාල්, ලී කීගල්, රිචී ධර්මපාල (නාවික හමුදා ක්‍රීඩා සමාජය), ඕමල්ක ගුණරත්න, තාරික් සාලේ (සී.ආර්), අශෝක ජයලාල් (යුද හමුදා ක්‍රීඩා සමාජය), ජොයෙල් පෙරේරා (පොලිස් ක්‍රීඩා සමාජය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *