අතුරුදන් වීම ඝාතනයක් බවට අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන්වීම ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

65 හැවිරිදි අයෙකුගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන අතරතුරු දී අදාළ නිවස හැර දමා ගෙස් සිටි අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ, දියණිය හා දියණියගේ සැමියා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් මේවන විට දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් සිටින අතර පොලිස් විමර්ශකයින් විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබේ.

අදාළ නිවස ඇතුළු ස්ථානය පරික්ෂා කිරීම සදහා අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්‍ෂකගේ සහාය ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. එසේම හෙට(09) දිනයේ දී අදාළ නිවස පිහිටි භූමිය හා නිවස දීර්ඝ පරික්‍ෂාවකට ලක් කිරීමට නියමිතය.

මෙම අතුරුදන් වූ තැනැත්තා වරාය අධිකාරියේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙකි.

බස්නාහිර පළාත් භාර අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *