පුස්කොළ පොත් සංරක්ෂණයට ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – වසර දහස් ගණනක ශ්‍රී ලාංකීය ඉතිහාසය කියාපාන අතීත උරුමයක් මෙන්ම ජාතික සම්පතක් වූ පුස්කොළ පොත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය මගපෙන්වීම සහ සහය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලුම මහා සංඝරත්නයෙන් ඉල්ලයි.

ශ්‍රී දළදා සමිඳුන් වැඩ හිඳින පූණ්‍යභූමියේ, අස්ගිරි මහාවිහාරීය පිරිවෙන් පරිශ‍්‍රයේ ඉදි කෙරුණු අස්ගිරි මහාසෑය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (08) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම පුණෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදුකළේය.

විනාශ වෙමින් පවතින පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සහ අනෙකුත් සම්පත් ලබාදීමට අදාළ අංශ වෙත මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙන බව ද පැවසීය.

ජාත්‍යන්තර වෙසක් සතිය මුල් කර ගනිමින් බෞද්ධ දර්ශනය ලොව පුරා ගෙන යාම සඳහා වැඩසටහන් රැසක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසූ ජනාධිපතිතුමා එම සියලු කාර්යයන් සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බව කියා සිටියේය.

මහනුවර නගරයේ උස් ස්ථානයක ඉදි වූ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ අඩි 145 ක් උසින් යුත් අතර, විෂ්කම්භය අඩි 65 කි.

කෞතුකාගාරයක්, චිත්ත විවේකාගාරයක් සහිත විසිතුරු බෞද්ධ සිතුවම් වලින් යුතු ධාතු මන්දිරයකින් මෙම චෛත්‍යය සමන්විත ය.

දෙවන මහලේ මහා සංඝරත්නයට හා සැදැහැවත් ජනතාවට බණ භාවනා කිරීමට හැකි චිත්ත විවේකාගාරයකි. නවීන විද්‍යානුකූල භාවනා ක‍්‍රම උපයෝගි කරගනිමින් මෙම ස්ථානයේ භාවනා කටයුතුවල නිරතවීමේ පහසුකම් ඇත.
පුරා වසර හතක පමණ කාලයක් වැය කරමින් ඉදිවුණු මෙම චෛත්‍යය මෙරට අති දක්ෂ කලාකරුවන් අතින් නිම කර තිබෙන අතර අස්ගිරි මහ විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදුකර තිබේ.

නිර්මාණ ශිල්පීන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *