ශ්‍රී ලංකාව ගොඩනැඟීමට ඉන්දියාව මිතුරෙකු ලෙස ළඟින් සිටිනවා – ඉන්දීය අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ගොඩනැඟීමට සහායකයෙකු හා මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

එසේම කලාපයේ විශාලත ම හා බලවත් ම රට වන ඉන්දියාවේ සහය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ දියුණුවට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක් වී එකම ගමනක් යායුතුව ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍ර‍ ශාලාවේදී අද (12) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සහ ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍ර‍ධාන දේශනය පවත්වමිනි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත, අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල සිදුකිරීමට යන ආයෝජන මගින් අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක මුදලක් ලබාදීමට ද බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එසේම ලබන අගෝස්තු මාසයේ සිට එයාර් ඉන්දීය ගුවන් සේවය මගින් කොළඹ සහ වරණාසි අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට කටයුතු යොදාගෙන යන බවද ඉන්දීය අගමැතිවරයා සදහන් කළේය.

ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා තම දියණිය සහ පුත්‍ර‍යා මගින් බුදුදහම ලබාදීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ මෝදි මහතා පසුකාලයේදී අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ බුදුදහම පැතිරවීමට කටයුතු කිරීම එහි දෙවන අදියර වශයෙන් සැලකිය හැකි බවද කීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − eight =