ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව බරින් වැඩිම පුද්ගලයා ලෙස සැලකෙන මෙක්සිකෝවේ 33 හැවිරිදි ජුවාන් ෆෙඩ්රෝ ෆ්‍රැන්කෝට සිදු කළ බයිපාස් සැත්කම සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ජුවාන් ෆෙඩ්රෝ ජීවිත කාලය පුරාම තරබාරු බවින් පීඩා වින්දි අයෙකි. නමුත් ඔහුගේ මේ තත්ත්වය දරුණු අතට හැරෙන්නේ වයස අවුරුදු 17 දී තුවාලයක් හට ගැනීමෙන් පසුව ඔහුගේ බර අසාමාන්‍ය ලෙස වැඩිවීමත් සමඟිනි.

ෆ්‍රැන්කෝ පසුගිය වසර 07 ම ගෙවා දැමුවේ ඇඳකට සීමා වීමෙනි.

ඉකුත් මැයි මස 09වනදා වෛද්‍යවරුන් විසින් ඔහුව බයිපාස් සැත්කමකට භාජනය කරනු ලැබීය. කිලෝග්‍රෑම් 595ක්ව තිබූ බර සැත්කමින් පසු කිලෝග්‍රෑම් 175කින් අඩු කරගන්නට ෆ්‍රැන්කෝට හැකි ව ඇති බව මෙක්සිකානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එමෙන්ම ඔහුට විශේෂ ආහාර වේලක් ද නියම කර ඇත.

මේ වන විට ෆ්‍රැන්කෝගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසා තිබේ.

නමුත් මේ අධික ස්ථූලතාවය නිසා ෆ්‍රැන්කෝ හෘදයාබාධ මෙන්ම ඉන්ද්‍රීයන් අප්‍රාණික වීමේ රෝගවලට ගොදුරු වීමේ අවදානමකට මුහුණ දී සිටියි. එබැවින් වෛද්‍යවරුන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පසු වන්නේ දැඩි අවධානයකිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙක්සිකෝවේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් සියයට 35ක් පමණ අධික තරබාරු කමට ගොදුරුව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *