අගමැති චීනයේ දී ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙළඳ වර්ධනයේ නව අවකාශයන් උදාකරන්නට ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය සමත් වන බැවින් හා සියළු රටවල දුර බැහැර පළාත්වලට පවා මෙහි ප්‍රතිලාභ ගලා යන බැවින්, මේ ප්‍රයත්නයට සම්බන්ධ සියළු රටවල් අධිෂ්ඨාන සහගතව මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

චීනයේ බෙයිජිං නුවර යැංඡිවිල නිකේතනයේ අද(15) පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ‘එක් තීරයක් – එක් මාවතක්‘ මහා සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව උත්සාහ ගන්නේ බොහෝ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි සිය භූගෝලීය පිහිටීම පාදක කර ගනිමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වීම නිසා රටේ සියළු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ලබා ගැනීමේ පදනම සැකසී ඇති බව ද, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ලාංකේය අභිලාශය මුදුන් පත් කර ගැනීම සඳහා එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය යටතේ ප්‍රතිලාභ සැලසෙන බව ද පැවසීය.

වට මේස සාකච්ඡාව මෙහෙයවමින් චීන ජනාධිපති ෂී ඡින්පිං (XI Jinping) මහතා පැවසූයේ වර්තමානයේ එළැඹ ඇති ගෝලීය අභියෝගයන් ජය ගැනීමට තනි රටකට හැකියාවක් නැති බැවින් ඒ අභියෝග ජයගැනීම උදෙසා සියළු දෙනාම සාමූහිකව අත්වැල් බැඳගත යුතු බවයි.

පෙර – අපර යා කරන සේද මාවත අතීතයේ සිටම සංස්කෘතික හා සමාජයීය සබඳතා මගින් සියළු පාර්ශවයන්ට ප්‍රතිලාභ ගෙන දුන් බවත්, ඒ තත්වය යළි අනාගතයේ උදා කරලීම අප සැමගේ සාමූහික අරමුණ විය යුතු බවත් සිහිපත් කළ චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය එක් පාර්ශවයක හෝ එක් කණ්ඩායමක ව්‍යාපෘතියක් නොව, මුළු ලොවටම අයිති ව්‍යාපෘතියක් බවයි.

සංවර්ධනයට නව ඉඩක් සකස් කෙරෙන මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහාත් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, මේ වට මේස සාකච්ඡාව පාදක වනු ඇතැයි ෂී ඡින්පිං මහතා විශ්වාසය පළ කළේය.

එකිනෙකාට උදව් කරමින්, සියළු දෙනාට ජයගත හැකි පරිසරයක් සකස් කිරීමටත්, යටිතල පහසුකම් වර්ධනය කිරීමටත්, මූල්‍ය සහ ජනතාව අතර සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමටත් ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා කලාපීය ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සඳහා යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආරක්‍ෂණ වාදය තව දුරටත් ඉදිරියට ගෙන ගිය නොහැකි බවත්, නිදහස් වෙළදාම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැනත් ෂී ඡින්පිං මහතා කරුණු ගෙනහැර පෑවේය.

යැංඡිවිල ඓතිහාසික ප්‍රදේශයක් හෙයින් මෙය නව ගමනක ආරම්භයට සුදුසු තැනක් බැව් අවධාරණය කළ චීන ජනාධිපතිවරයා සාමය, සංවර්ධනය සහ සියල්ලන්ටම ජය හිමි වන අනාගතයක් කරා මෙහි සිට ඉහළට නැගෙමු යැයි සියල්ලන්ටම ආරාධනා කළේය.

නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කල්‍යාණරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වට මේස සමුළුවට එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *