වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු හෙට(17) පෙරවරුවේ ආරම්භ කෙරේ.

ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සදහා දොරගුළු විවර කරමින් පළාත් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ඉදි කිරීමට යෝජිත වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 175 ක වියදමින් ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, රුපියල් මිලියන 85 ක වියදමින් පිහිනුම් තටාකයක්, රුපියල් මිලියන 65 ක වියදමින් ප්‍රේක්ෂකාරයක් ඉදි කෙරෙනු ඇත.

වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය මහජන ක්‍රීඩාංගනයේදී හෙට සිදු කෙරේ.

එදින ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන (අධිෂ්ඨාන) යටතේ ක්‍රීඩා කුසලතාවයන් හදුනා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාශයකම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සනිටුහන් කරමින්
බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශයේ පුහුණු මධ්‍යස්ථානය ලෙස තොරාගෙන ඇති බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල සදහාත්, උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශයේ පුහුනු මධ්‍යස්ථානය ලෙස තොරාගෙන ඇති දුම්මලසූරිය ජේ.ආර්.ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය සදහාත් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමක් ද සිදුවන බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේය.

එසේම ක්‍රීඩා කුසලතා හදුනාගැනීමේ පරීක්ෂණයෙන් පුහුණුව සදහා සුදුසුකම් ලබන බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශයේ දරුවන් 221 දෙනෙක් හා උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශයේ දරුවන් 137 දෙනෙක් සදහා සහතික පත්‍ර ප්‍රදානය හා නිල ලාංඡන පැළදවීම ද සිදු කෙරේ.

මීට අමතරව ක්‍රීඩා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගී වූ සක්‍රීය ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමක් ද සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *