සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් සිදු වූ බවට වාර්තාවීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රටවල් රැසකට බලපෑම් එල්ල වූ සයිබර් ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාවේ කිසිදු සිද්ධියක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT)ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

එවැනි ප්‍රහාරයක් හෝ ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් තම ආයතනයට පැමිණිලි කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දීමක් කර සිටියි. ඒ අනුව 011 269 1692 , 269 5749 , 267 9888 යන දුරකථන අංකවලට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට අදාළ තොරතුරු යොමු කළ හැකිය.

රැන්සම්වෙයාර් නැමැති වෛරසය ඔස්සේ සයිබර් ප්‍රහාරය එල්ල කෙරුණේ ඉකුත් සිකුරාදා(12) ය.
එම සයිබර් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල විය.

එවැනි සයිබර් ප්‍රහාරයක් නව විධික්‍රම ඔස්සේ නැවතත් ඕනෑම අවස්ථාවක එල්ලවිය හැකි බවට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ පුවතක් අද(16) වාර්තා විය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියට කිසියම් පිරිසක් හොර රහසේ ඇතුලු වී ඇති බව වාර්තා වේ. පාකිස්තාන සයිබර් ප්‍රහාරකයන් පිරිසක් මෙය සිදුකර ඇති බව සදහන් කෙරේ.

කෙසේ නමුත් මේවන විට එය යථා තත්ත්වයට පත් කිරීම සදහා පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 3 =