ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඩෙංගු මර්දන කාර්ය සාධන බලකාය සමග ඊයේ(16) පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම දැනුම් දීම සිදු කළේය.

ඩෙංගු මර්දන කාර්ය සාධන බලකායේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

ඩෙංගු මර්දනය සඳහා තම වගකීම ඉටු කිරීමට එක්වන්නැයි රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙන්ම දේශපාලනඥයින්ගෙන් ද ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලා සිටියේය. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව ඩෙංගු මර්දනය සඳහා වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි පළමු වනදා සිට මාස තුනක කාලයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අදාළව නව චක්‍රලේඛ කිහිපයක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව මෙහිදී අවධාරණය කෙරුණි.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබඳ ඉල්ලීම් කළ විට ඒ සඳහා අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ හැකි බව ද එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මැතිඇමතිවරුන් , රාජ්‍ය නිලධාරීන් , ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 11 =