ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමකට එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ(16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි. මෙම ගිවිසුම මගින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරේ.

මෙහිදී, නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ‍ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජයක් විසින් වි‍දේශීය රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම් සම්බන්ධයෙන් ඇති කර ගත් පළමු අවබෝධතා ගිවිසුම මෙය වීම ද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් වූ මූලික වටයේ ද්විපාර්ශවික සාකච්ඡාව පැවැත්වූයේ පසුගිය වසරේ කොළඹ පැවැති ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේදීය. එහිදී, ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත නෞකාවන් මත ආරක්ෂාව සපයමින් ගමන් කරන මැරීන් භටයන් ගාල්ල වරායේ ගොඩබැස්සවීමට සහ ඔවුන් සතු සැහැල්ලු අවි ආරක්ෂිතව ගබඩා කර දෙන ලෙස නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රොබ් වර්කට් මහතා විසින් ඉල්ලීමක් ද කර තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට දේශීය නියෝජිතයින් 25 දෙනෙකු හරහා විදේශ සමාගම් 90 කට පමණ සමුද්‍රිය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සපයනු ලබයි.

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, මේ වන විට එමගින් අති විශාල ආදායමක් රජය වෙත උපයා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *