කොළඹට තද වැස්ස – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ හා තදාසන්න ප්‍රදේශ රැසක දැඩි රථ වාහන තද බදයක් පවතින බව වාර්තා වනවා. ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම රථ වාහන තදබදය ඇතිවී තිබෙන බව පොලිසිය සදහන් කළේය.

කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් මධ්‍යස්ථානය අසල, මරදාන ඩාලි පාරේ ගිනි නිවීමේ මධ්‍යස්ථානය අසල හා පිටකොටුව ට්‍රැක්ටර් සංස්ථා හන්දිය අසල සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස බුලර්ස් පටුමග යන ස්ථානවල මාර්ගයට ගස් පෙරලීම හේතුවෙන් රථවාහන අවහිරතාවයක් සිදුව ඇත.

මේ අතර පවතින අධික වර්ෂාව සහ දැඩි සුළඟ හේතුවෙන් කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ තොරණක් කඩාවැටී වාහන හතරකට අලාභ හානි සිදුව තිබේ. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව වාර්තා වේ.

එසේම නුගේගොඩ සහ පැගිරිවත්ත අතර ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවී තිබේ.

කඩා වැටුණු ගස ඉවත් කිරීම සදහා මේ වනවිටත් කණ්ඩායමක් යොදවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =