ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගති සමාලෝචනයක් ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්වුණි.

ජනාධිපති කාර්යාලයේදී එය පැවැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ජාවේදී එම කොමිෂන් සභාවලට අදාළ නව යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් කෙරුණි.

එමෙන්ම කොමිෂන් සභාවල කටයුතු කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලූ පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර මෙම සියලූ කොමිෂන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩු පාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඉදිරිපත් කෙරුණු ගැටලූ පිළිබද අදාළ අංශ සමග ඉදිරියේදී සාකච්ජා කරන බව ද සදහන් කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *