ජනතාව එක්රැස් වන ගොඩනැගිලිවල තත්ත්වය වසර 03කට වරක් යෝග්‍යතා පරික්‍ෂාවකට

(කොළඹ, ලංකාපුවත්) – මහජනතාව වෙනුවෙන් සේවා සපයා ගොඩනැගිලිවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ යෝග්‍යතා පරික්‍සා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා කියා සිටියේ ජනතාව එක්රැස් වන ගොඩනැගිලි පෞද්ගලික වුවත් පොදු වුවත් ඒවා පරීක්ෂා කර වසර 03කට වරක් යෝග්‍යතාවය පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ පිළිබඳ මධ්‍යම රජයේ අවධානය යොමුකරලා දැනට පවතින සියලු ගොඩනැගිලිවල සවිශක්තිය පරීක්ෂා කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම පරික්‍ෂා කිරීම්වලට අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාව සතුව පවතී. දියුණු රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වේ.

එසේ යෝග්‍යතා සහතිකය ලබාගත් සුරක්ෂිත ගොඩනැගිලිවල ඉදිරිපස විශේෂ ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමට ද බලාපොරොත්තුවන බව ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා(18) වැල්ලවත්ත සැවෝයි සිනමාහල ආසන්නයේ ඉදිකරමින් තිබූ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එයට යටවී සුන්බුන් අතර සිරවී තිබූ කාන්තා මළ සිරුරක් සහන කණ්ඩායම් විසින් ඊයේ(21) සොයා ගනු ලැබීය. වයස අවුරුදු 61ක මොරටුව ප්‍රදේශයේ පදිංචි ශම්මුගම් අන්න ගෙච්චමි නැමැති කාන්තාවක් මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබුණි.

ඒ අනුව වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමේ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි වූ අතර 21දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =