හිටපු ජනපති ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියට කූඨ ලෙස සකස් කරන ලද මුදල් තොගයක් ලබාදුන් විත්තිකරුට වසර පහකට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් අද (22) නියම කර ඇත.

මීට අමතරව වරද පිළිගත් විත්තිකරුට රුපියල් ලක්ෂ 05ක දඩයක්ද, දුලාංජලී මහත්මියට රුපියල් ලක්ෂ 20ක වන්දියක්ද ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

2014 මාර්තු 25 වනදා කොළඹ පාර්ක් වීදියේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද නෝට්ටු සන්තකයේ තබා ගැනීම, ඒවා මුද්‍රණය කිරීමට උපයෝගි කරගත් යන්ත්‍රයක් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන යාම යන අධිචෝදනා දෙක විත්තිකරුට එල්ලවී තිබුණි.

විත්තිකරු විසින් දුලාංජලී ජයකොඩි මහත්මියට ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටු 503ක් ලබාදීමෙන් පසු ඇය විසින් එම නෝට්ටු වලින් කොටසක් පුද්ගලික බැංකුවක තැන්පත් කිරීමට යාමෙන් මෙම වංචාව අනාවරණය විය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දුලිප් පෙරේරා නැමැති විත්තිකරුවෙකුට මෙලෙස දඬුවම් නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *