UPDATE : මැන්චෙස්ටර් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මියගිය පිරිස අතර ළමුන් ද සිටින බව වාර්තාවේ.

 

 

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සංගීත ප්‍රසංගයක පිපිරීමකින් 19ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මැන්චෙස්ටර් ඇරීනා නැමැති ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇත. සිද්ධිය හටගත්තේ බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10.35ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 4.00ට පමණ බව වාර්තාවේ.

අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ විසින් පවත්වනු ලැබූ සංගීත සංදර්ශනයට දහඅට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ. අරියානා ග්‍රාන්ඩේ ප්‍රසංගය අවසන් වී ප්‍රසංගය භූමියෙන් ඉවත් වී ස්වල්ප වේලාවකින් මෙම බෝම්බය පුපුරා ගොස් තිබේ.

එම ස්ථානයේ තිබූ තවත් බෝම්බයක් සොයාගෙන ඇති අතර එය ආරක්ෂිතව පුපුරුවා හැරිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රහාරයත් සමග මැන්චෙස්ටර් අරීනා ක්‍රිඩාංගණය අවට ප්‍රදේශයේ උමං දුරිය ගමනාගමනය නතර කිරීමට පියවර ගෙන ඇත. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට පොලීසිය සැක පළකරනු ලැබේ. බෝම්බය ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුව අසළ ස්ථානගතකර තිබූ බව පොලීසිය පවසයි.

මේ වන විට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කරමින් සිටින බවයි, පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *