ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන බව අගමැති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එම උත්සවය අද (23) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුමන ජාතියක් ආගමක් වුවත් රටේ නීති උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවය.

යළිත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී තිබෙන බවත් එයින් ප්‍රයෝජන ගෙන ව්‍යාපාර ඇති කර සීඝ්‍ර දියුණුවකට ගමන් කළ යුතු බවත් අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය. එම දියුණුවේ පදනම විය යුත්තේ දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගිය බවද ඔහු කියා සිටියේය.

බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව පැවසූ අග්‍රාමාතවරයා සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතු බවද අවධාරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *