ජනපතිට කැන්බරා ගුවන් තොටුපලේ දී උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ටේ‍්‍රලියාවේ තුන් දින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) අලුයම එරට කැන්බරා ගුවන් තොටුපලට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ජනාධිපතිතුමා ඇතුළු ධූත පිරිසට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

රාජ්‍ය සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් ශී‍්‍ර ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයක් මත ජනාධිපතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ දහවල් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය.

මීට පෙර 1954 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරත වුවද නිදහස් ශී‍්‍ර ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මීට පෙර රාජ්‍ය නායක මට්ටමේ සංචාරයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවෙන් නිල ඇරයුම් ලැබී නොතිබුණි.

ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක හතක් තිස්සේ පවතින ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

සිය තෙදින සංචාරය තුළදී ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සමග මෙන්ම ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමග ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වීමට නියමිත අතර ඕස්ටේ‍්‍රලියා ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමත්, ශී‍්‍ර ලංකාවට වාසි සහගත ලෙස ද්විපාර්ශ්වික වෙළදාම වර්ධනය කර ගැනීම පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරේ.

අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පා.ම හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =