පහර දීම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – පහර දීම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කරයි.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේය.

රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් නීතිය අවභාවිත කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ දිනවල විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් තැන් තැන්වල සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළැබි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් අමාත්‍ය මණ්ඩලයත් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද සදහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු භේදයකින් තොරව සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූ බවද අමාත්‍යවරයා පැවසීය.

තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රදේශය බාර පොලිස් ස්ථානාධිපතිවරයට ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *