අවදානම් කලාපවලින් හැකි ඉක්මණින් ඉවත්වන්න

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සෑම ගංඟාවක් අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ගංඟා ආසන්නයේ පදිංචි සියලුම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස රජය දැනුම් දීමක් කර සිටි.

ගංවතුර තර්ජනය ඇති සෑම ප්‍රදේශයක ම පාසල් වසා දමා එම ස්ථානයන් හි අවතැන් වන ජනතාවට නවාතැන් ගැනීමට ඉඩ සළසන ලෙස ද අදාළ ප්‍රාදේශීය ලේකම්කාර්යාල වෙත දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අවතැන්වූ හා පීඩාවට පත්වූ ජනතාව බේරාගැනීමත්, ඔවුන්ට සහන සැලසීමත් දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර ගංවතුර ඇති ප්‍රදේශවල කොටු වී සිටින ජනතාව බේරාගැනීමට නාවික හමුදාවේ බෝට්ටු හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ. මේ අතර රජයට අමතර බෝට්ටු ලබාදෙන ලෙස ධීවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර එම බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර ප්‍රදේශවලට යැවීමට කටයුතු කරන බවත් සියලුම ගෙවීම් රජය මගින් සිදුකරන බවත් ඒ සඳහා කිසිදු අමතර ගෙවීමක් නොකරන ලෙසත් විපතට පත්වූවන්ට රජය දැනුම්දෙයි. ළඟාවිය නොහැකි ප්‍රදේශ සඳහා මෙම බෝට්ටු ගුවන් හමුදාව මගින් ප්‍රවාහනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

මෙම ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48ක කාලයේ දී තවත් දරුණු විය හැකි බැවින් සියලුම ආපදා කළමනාකරණ තත්ත්වයන් සීරුවෙන් තබා ඇති අතර සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි පරිදි අදාල නිලධාරීන්ට බලය පවරා ඇත.

අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී ඇති බැවින් සාමාන්‍ය වාහනවලට එම ස්ථාන දෙකෙන් ඇතුළුවීම හා පිටවීමට නොහැකිව ඇත. ආපදා සහන සේවා සඳහා එම ස්ථානවලට හමුදා ට්‍රක් රථ යොදවා තිබේග මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ආපදා සහන සේවා සඳහා යොදවා ඇති සියලුම වාහන නැවත දන්වන තුරු අධිවේගී මාර්ගයේ ගාස්තුවලින් නිදහස් කර ඇති බවයි.

අවතැන් වූ සහ පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් වියළි ආහාර ඇතුළු සහන සේවා සැපයීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරන අතර විපතට පත්වූ පුද්ගලයන්ට ආධාර ලබාදෙන යම් කණ්ඩායම් හා පුද්ලයන් සිටීනම් අදාල ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන් එම ආධාර ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියි.

විදේශගත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ උපදෙස් ද මේ සඳහා ලැබී ඇති අතර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ අමාත්‍යාංශ ඇතුළු රජයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *