ධීවර අංශයෙන් රැකියා 120,000ක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් රැකියා 120,000ක් ලබා දීමට සූදානම් වේ.

2019 වසර අවසන් වන විට රැකියා දසලක්ෂයක් බිහි කිරීමේ අරමුණැතිව රජය අරඹා ඇති වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මන්නාරම අක්කර 3000ක හා මඩකළපුව අක්කර 2000ක ඉදි කෙරෙන ජලජ ජීවී වගා කර්මාන්ත උද්‍යාන දෙක (Aqua culture Industrial Park) යටතේ රැකියා අවස්ථා 40,000ක් නිර්මාණය කරන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති හා මහවැලි සංවර්ධන රාජ්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එවැනි තවත් ජල ජීවී වගා උද්‍යානයක් දකුණු පළාතේ හම්බන්තොට ඉදි කෙරෙන අතර, එය කකුළුවන් අපනයන නගරය Crab City වශයෙන් පිහිටුවීමට පියවර ගන්නා අතර එමගින්ද රැකියා අවස්ථා 20,000ක් නිර්මාණය කිරීමට ඉළක්ක කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මීට අමතරව හම්බන්තොට ඉදි කෙරෙන මාතර වැලිගම කප්පරතොට ඉදි වන මත්ස්‍ය හා ජලජ පැළෑටි ආශ්‍රිත ආහාර මධ්‍යස්ථානය, ජලජීවි අභිජනන මධ්‍යස්ථාන හා වැව් හා ජලාශ ආශ්‍රිත ව ක්‍රියාත්මක කරන මත්ස්‍ය සම්පත සියයට 100කින් ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළට අනුව තවත් රැකියා අවස්ථා 60,000ක් නිර්මාණය කිරීමේ ඉළක්කය ජයගත හැකි බව ද ඇමැතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *