(UPDATE)ආපදා මරණ 193ක් වෙයි – ආපදාවට පත් නිවසකට ලක්ෂ 25ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 193ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

ආපදා හේතුවෙන් පවුල් 149678ක් ආපදාවට පත්ව තිබෙන අතර බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 575816කි.

මේ වනවිට සුරක්ෂිත ස්ථාන 383ක අවතැන් වූ පුද්ගලයන් රැදී සිටින බව පැවසූ අමාත්‍යවරයා, පූර්ණ හානි වූ නිවාස 1326ක් හා අර්ධ හානී නිවාස 6979ක් වාර්තා වී තිබෙන බව කීය.

එසේම ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සෑම නිවසක් සඳහාම රුපියල් ලක්ෂ 25ක උපරිමයට යටත්ව වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අතිගරු ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැති ආපදා කළමනාකරණ පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරය කීය.

එමෙන් ම රක්ෂිත ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් ඉවත් කර විකල්ප ස්ථාන ලබාදීම කෙරෙහිද රජය තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

 

 

ආපදා මරණ 180 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී තවත් පුද්ගලයින් 109 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 77 කි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 54 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 24 ක් මේ වනවිට වාර්තාවී තිබේ.

අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 588,082කි.

මේ වනවිට නිවාස 640 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස ගණන 5329කි.

එමෙන්ම ආරක්ෂිත ස්ථාන 368ක පුද්ගලයින් 76,902ක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. වැඩිම පිරිසක් රඳවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 38,323 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *