බංග්ලාදේශයේ මිලියනයක පිරිස ආරක්‍ෂිත ස්ථානවලට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට උද්ගත වූ ව්‍යසනකාරී තත්වයට හේතුවක් වූ මෝරා සුළි කුණාටුව අද බංග්ලාදේශයට ඇතුළු වනු ඇතැයි එරට බලධාරීන් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එබැවින් එරට මිලියනයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේම දිස්ත්‍රික්ක 17ක පාසල් සහ ආරක්‍ෂිත ගොඩනැගිලිවල නවාතැන් ගැනීමට අවශ්‍ය සහන මධ්‍යස්ථාන 3,800ක් මේවන විට ස්ථාපිත කර ඇති බව බංග්ලාදේශ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

මෝරා කුණාටුව අද(30) දිනයේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පැයට කිලෝමීටර් 117 වේගයකින් පැමිණිය හැකි බව බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

එසේම බංග්ලාදේශ රාජ්‍ය මාධ්‍ය ආයතන තොරතුරු අනුව වාර්තා වන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, ගලවා ගැනීමේ කණ්ඩායම් හා සන්නද්ධ හමුදා සේනාංක ඕනෑම ව්‍යසනකාරී අවස්ථාවකට මුහුණ දීම සදහා මේවන විට සූදානමින් සිටින බවය.

මේ අතර බලපෑමක් එල්ල විය හැකි බවට විශ්වාස කරන ප්‍රදේශවල පිහිටි ගුවන් තොටුපලවල් සහ වරාය පරිශ්‍ර වසා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *