ආගමික ගැටුම් වැළැක්වීමට සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතුයි -ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ මතුවන ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම සේම එම ගැටුම් ඇතිකරගන්නා පාර්ශවවලට කරුණු පැහැදිළිකරදීමේ පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

ඒ සඳහා සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රට තුළ අසමගිය වපුරන ජාතික සහ ආගමික ගැටුම් සඳහා ඉඩ ලබාදිය නොහැකි බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අන්තර් ආගමික උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීය.

රට තුළ මතුවන ආගමික ගැටලු පිළිබඳ ඒ ඒ දිස්ති‍්‍රක්ක මට්ටමින් අවධානය යොමු කරමින් කටයුතු කිරීමට දේශපාලනඥයින්ගෙන් සහ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට තම උපදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර, එම කමිටු වඩා සකී‍්‍රය ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම අන්තර් ආගමික උපදේශක සභාව අවම වශයෙන් මසකට වරක්වත් රැස්විය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා අද මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරුණු අදහස් පදනම් කර ගනිමින් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ නිර්දේශ තමා ඊළග අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ද ප‍්‍රකාශ කළේය.

රට තුළ මතුවන ජාතික සහ ආගමික ගැටලුවලදී මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව කටයුතු කිරීමට සියලුදෙනාට වගකීමක් පැවරෙන බව ද පැවසූ ජනාධිපතිතුමා සියලුදෙනාගේ අපේක්ෂාව විය යුත්තේ සියලු ආගම් සහ ජාතින්වලට අයත් ජනතාව සතුටින් ජීවත්වන සාමකාමී රටක් බව ද කියා සිටියේය.

සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *