ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එහෙත් දිස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක් පවතින අතර ජලගැලීම් හේතුවෙන් ඇණ හිට තිබූ මාර්ග රැසක ගමනාගමන කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ප්‍රධානී එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් 630,082ක් පීඩාවට පත්ව සිටි.

මේ වන විට පුද්ගල මරණ 203ක් වාර්තා වන අතර තවමත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන ලද්දේ දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං අද(01) ඇතිවන බව ය.

සබරගමුව, දකුණු, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල (විශේෂයෙන් රත්නපුර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) මි.මි. 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 5 =